Sunday, October 18, 2015

RNA ගැන විමසා බලමු...

ජීවීන්ගේ ලක්ෂණ පාලනය කරනු ලබන ජාන DNA තුළ පිහිට තිබෙනවා. එම ජාන, සෛලයකින් තවත් සෛලයකට ලබා දෙන්නේ DNA ප්‍රතිවලිත වීම මඟින්. ඒ කියන්නේ DNA වල පවතින ජාන පිළිවෙලටම අනුරූප තවත් DNA දාම සෑදීම මඟින්. DNA වල පවතින ජාන නිරූපණය වීම කියන්නේ එම ජාන මඟින් ප්‍රෝටීන නිපදවා එම ප්‍රෝටීන මඟින් අදාල ලක්ෂණය නිරූපණය කිරීමයි.
     ඉතින් මේ ජාන පවතින්නේ සෛලයක න්‍යෂ්ටිය අතුලෙ. නමුත් ප්‍රෝටීන නිපදවන්නේ සෛල ප්ලාස්මයේ තිබෙන රයිබසෝම මඟින්. මේ ජානවල තොරතුරු රයිබසෝම වෙතට අරගෙන යන්න RNA වැදගත් වෙනවා.
     RNA කියන්නේ තවත් නියුක්‍ලික් අම්ල වර්ගයක්. එයත් DNA හා සමානව පෙන්ටෝස සීනි කාණ්ඩයකිනුත් පොස්පේට් කාණ්ඩයකිනුත්, නයිට්‍රජනීය භෂ්මයකුත් පවතින නියුක්ලියෝටයිඩ රාශියකින් සෑදී තිබෙනවා. මේවායේ තිබෙන පෙන්ටෝස සීනි කාණ්ඩය රයිබෝස් කියලා තමයි හඳුන්වන්නේ. DNA වල තිබෙන්නේ ඩී ඔක්සි රයිබෝස් සීනි කාණ්ඩය. නයිට්‍රජනීය භෂ්ම විදිහට ඇඩිනීන්, ගුවැනීන්, සයිටොසීන්, යුරැසිල් තිබෙනවා. DNA ද්විත්ව දාමයක් විදිහටත් RNA තනි දාමයක් විදිහටත් පවතිනවා.
image source: http://study.com/cimages/multimages/16/Difference_DNA_RNA-EN.svg.png

     සෛලයක් තුළ R‍NA වර්ග 3ක් පවතිනවා. ඒවා m-RNA, t-RNA, r-RNA ලෙස හඳුන්වනවා.
     DNAවල තිබෙන තොරතුරු රයිබසෝම දක්වා ගෙන යන්නෙ  m-RNA මඟින්. ඒ නිසා මෙම  RNA වර්ගය පණිවිඩකාර  RNA ( messenger) ලෙස හඳුන්වනවා.
     m-RNA හි අඩංගු වන අනුයාත නියුක්ලියෝටයිඩ තුනක් මඟින් ඇමයිනෝ අම්ලයක් නිරූපණය කරනවා. එම නියුක්ලියෝටයිඩ තුන කෝඩෝනයක් ලෙස හඳුන්වනවා.
     රයිබසෝමයට ප්‍රෝටීන තැනීමට අවශ්‍ය ඇමයිනෝ අම්ල රයිබසෝමය වෙත ගෙන ඒම t-RNA මඟින් සිදු කරනවා. අදාල ඇමයිනෝ අම්ලය හඳුනාගැනීමට t-RNA කෙලවර ප්‍රති‍ කෝඩෝනයක් පිහිටා තිබෙනවා.
     r-RNA මඟින් තමයි‍ මේ ප්‍රෝ‍ටීන සෑදීමට දායක වෙලා ත‍ිබෙන රයිබසෝම සෑදී තිබෙන්නේ.
DNA තුල අඩංගු ජාන ප්‍රෝ‍ටීන මඟින් නිරූපණයවන ක්‍රියාවලිය මීලඟ ලිපියෙන් විමසා බලමු.

චතුරිකා සෙව්වන්දි

Monday, October 12, 2015

යෞවනත්වය හා ක්‍රීඩාව

විශ්වය නැමැති උද්‍යානය තුළ සුපුෂ්පිත මානව සමාජය නැමැති පුෂ්ප මංජරියේ සුගන්ධවත් වූ මකරන්දය යෞවනයයි. අද්විතීය වූ ජවයෙනුත්, අසමසම ප්‍රඥා පාඨවයෙනුත් ස්වකීය ප්‍රතිභාව විශ්වය හමුවේ විද්‍යාමාන කරමින් අතීතයේ සේයා රූ ඔස්සේ අනාගතයට පියමනින නූතන යෞවනයන් නිරතුරු නුවණැසින් දිවිකත‍ර තරණය කිරීම කාලීන අවශ්‍යතාවයකි.
     නිම්හිම් ‍නොපෙනෙන සිප් සයුර තරණය කරනු වස් තුරඟ තරගයක යෙදෙන තත්කාලීන යුගයෙහි පෞරුෂ සංවර්ධනයෙහි ලා ක්‍රීඩාව අත්‍යවශ්‍ය වේ. එය හුදෙක් අක්ෂර ත්‍රිත්වයක සංකලනයක් පමණක් නොවන්නේ ඒ තුළ ගැබ් ව ඇති වාග් විෂයාතික්‍රාන්ත බව නිසාවෙනි.
     මානව සන්තානගත චෛතසිකයන් දේශය, ජාතිය ආදී සීමා රේඛාවන්ගෙන් ඛණ්ඩනය කළ නොහැකි වුව ද ස්වාර්ථයෙන් ඔද වැඩුණු මිනිසුන්ගෙන් ගහණ වත්මන් සමාජයේ මාන්‍ය චිත්‍යාභ්‍යන්තරයේ මනුෂ්‍යත්වයේ බිජුවට ‍රෝපණය කිරීමෙහි ලා ක්‍රීඩාව පරම ප්‍රතිෂඨාධාරකයක් වෙයි. එතුළින් ලැබෙන පන්නරය මඟින් ජීවන දැක්ම පුළුල් වූ කල සංකේන්ද්‍රගත ව තිබූ මානව මන්‍ය යදම් යකුළු, පවුරු සීමා බිඳ හෙළා උත්තුංග වූ සභ්‍යත්වයක් ගොඩ නඟයි.
image source: http://euxtra.com/en/wp-content/uploads/2013/09/Sport-and-education-call-from-Turkey-by-euxtra.jpg
     අයුක්තිය, අසාධාරණය රජයන නූතන යුගයෙහි සමාජගත ව ඇති මත්පැන්, මත්ද්‍රව්‍ය ඇතුළු නේකවිධ දුරාචාර දුරින් ම දුරු කිරීමට යෞවනයා විචක්ෂණශීලී විය යුතු ය. දැනුම, ආකල්ප, කුසලතා යන ත්‍රිත්වයෙන් ම සන්නද්ධ ව ගෝලීයකරණ විශ්ව ගම්මානයට ප්‍රවිෂ්ට වීමට තරම් ඥානාන්විත විය යුතු ය. ජීවිතයේ මුහුණ පෑමට සිදුවන දහසකුත් එකක් දුක්ඛ දෝමනස්සයන් අභිමුව හැඟීම්වල රූක‍ඩයක් විලස, අනුවණ මුග්ධ තීරණ නොගෙන නොසැලෙන ඉන්ද්‍රඛීලයක් සේ ඒවාට මුහුණදීමට දිරිමත් විය යුතු ය. ගතේ සවියත්, සිතේ ශක්තියත් කැ‍ටිකොට ගනිමින් යථෝක්ත අභිමතාර්ථ සාධනය කරනු වස් පවා ක්‍රී‍ඩාව අවකාශය විවර කරණ බව නොඅනුමාන ය.
     අසහාය ප්‍රයත්නයක ‍කූඨප්‍රාප්තිය සනිටුහන් වන මේ සුයාමයේ දී මාගේ තෙළිතුඩෙන් සටහනක් තැබීමට ලැබීම මා ලද භාග්‍යක් ලෙස සලකන අතර ම ක්‍රීඩාව තුළින් සප්ත කිරුළු හිස අරා මනුදම් නැමැති පාවඩ පලස මතින් ‍මනෝනන්දනීය හෙට දිනකට පිය මනින්නට 2015 ජාතික යෞවන ක්‍රීඩා උළෙල අයෝමය හස්තයක් වනු ඇතැයි උදක් ම ප්‍රාර්ථනා කරමි.

අර්ජුන උ‍ඩගෙආරච්චි

Sunday, September 6, 2015

නොපසුබට මිනිසාගේ පුරාවෘත්තය 2

ක්‍රි.පූ. අවුරුදු 8 000 -
                           මිනිසා විසින් ස්ථිර වාසස්ථාන භාවිතා කරන අතරම කෘෂිකර්මාන්තය ද ආරම්භ කරන ලදි.                
ක්‍රි.පූ. අවුරුදු 7 000 -

                          මැටියෙන් වලන් සෑදීමට මිනිසා අවබෝධයක් ලබා ගන්නේ මෙම කාල සීමාවේ දී ය. තව ද ආයුධ නිර්මාණය අතින් ද මිනිසා තවදුරටත් ඉදිරියට පැමිණේ. ගලින් නිම වූ පොරව, නියන ආදිය මෙන්ම කුඩා ගල් කටු, ගිනි ගලින් සෑදූ පිහි ආදිය මෙම කාල සීමාවේ දී නිර්මාණය විය.

ක්‍රි.පූ. අවුරුදු 6 000 -

                     මෙම කාලය වන විට මිනිසා තමා විසින් ම නිපදවා ගත් ගඩොල්, ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගන්නා ලදි.ගඩොල් පිළිස්සීම සඳහා පෝරණු භාවිතය ද මේ සමග ම ආරම්භ වී ඇත.

ක්‍රි.පූ. අවුරුදු 4 000 - 

                       ලෝහ ( තඹ හා පිත්තල ) භාවිතය ඇරඹීම. අවි ආයුධ සහ විසිතුරු ආභරණ තැනීම සඳහා ලෝහ භාවිතා කරන ලදි.

 තඹ ආයුධ
Source : http://www.bmaf.org/articles/metal_weapons_tools__johnson
ක්‍රි.පූ. අවුරුදු 3 500 - 
                           තාක්ෂණිකයේ ගමන් මගේ වැදගත් සන්ධිස්ථානයක් වූ රෝදය සොයාගැනීම සිදු වූයේ මෙම කාලයේ දී ය.එමෙන් ම ගොවිතැන සඳහා නගුල භාවිතය ඇරඹීම ද මෙම කාලයේ සිදු විය. වළන් තැනීම සඳහා භාවිතා කරන කුඹල් සක සොයා ගන්නා ලදි.

ක්‍රි.පූ. අවුරුදු 3 000 - 
                        සූර්ය හෝරා යන්ත්‍රය භාවිතා කිරීම ඇරඹීම. ධීවර කර්මාන්තයට සහ ඔරු මගින් යාත්‍රා කිරීමට මිනිසා මේ වන විට යොමු වී ඇත. ලෝකඩ වලින් යුද අවි සහ ශ්‍රම උපකරණ සාදා භාවිතා කිරීම ද මෙම කාලයේ ආරම්භ විය.

දැනට හමුවී ඇති ලොව පැරණිත ම සූර්ය හෝරා යන්ත්‍රය
Source : http://en.wikipedia.org/wiki/History_of_sundials#mediaviewer/File:Ancient-egyptian-sundial.jpg

ක්‍රි.පූ. අවුරුදු 2 600 - 
                          නූතන ඝනක යන්ත්‍රයේ පූර්වජයා වන ඝනක රාමුව සොයා ගැනීම.
ක්‍රි.පූ. අවුරුදු 2 000 - 
                          අක්ෂ සිදුර සහිත රෝදය සොයා ගැනීම.
ක්‍රි.පූ. අවුරුදු 1 700 - 
                          සුලං මෝල් නිර්මාණය කිරීම.

පුරාණ සුලං මෝල් ආකෘතියක්
Source : http://www.allempires.com/forum/forum_posts.asp?TID=27376

ක්‍රි.පූ. අවුරුදු 1 400 -
                        යපස් උණු කොට යකඩ ලබා ගැනීම ආරම්භ වීම. ලෝහ ආයුධ මතුපිට පන්නරය තැබීමට ද මිනිසා සමත් වූයේ මෙම කාල වකවානුවේ දී ය.

ක්‍රි.පූ. අවුරුදු 1 000 - 
                         (Iron Age) අයන යුගය ආරම්භ වීම. මෙතැන් පටන් යුරෝපය ප්‍රධාන කොට ලොව විවිධ ප්‍රදේශවල යකඩ භාවිතා කොට ආයුධ සහ උපකරණ තැනීම පුළුල් ලෙස පැතිර යන ලදි.

හිමාල් චතුරංග හපුආරච්චි

Saturday, August 8, 2015

නොපසුබට මිනිසාගේ පුරාවෘත්තය...

තාක්ෂණය ගැන උනන්දු වන්නා වූ නව නිර්මාණ අත්හදා බැලීමට ආශා කරන්නා වූ සැමට පොදුවේ උපදෙසක් දෙමි.ඉතිහාසය හදාරන්න!! ප්‍රාථමික ගල් ආයුධයේ සිට අජඨාකාශ යානය දක්වා තාක්ෂණය දියුණු වෙමින් ආ මාර්ගය පිරික්සීමෙන් කිසිදු අයුරකින් ඔබගේ කාලය අපතේ නොයනු ඇත.තාක්ෂණයේ දියුණුව යනු තනි පුද්ගලයෙකු විසින් එක් රැයකදී ලඟා කරගත් දෙයක් නොවන බවත් නොපසුබස්නා වීර්යය සහ නොසන්සි‍දෙන කුතුහලය විසින් දිරිමත් කරනු ලැබූ ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ අප්‍රමාණ කැපකිරීම් නිසා ඇතිවූ දෙයක් බවත් නමුත් එයිනුදු නොනැවතී නිරන්තර අනාගතය දෙසට යොමුවූ බලාපොරොත්තු ඇතුව තව තවත් ඉදිරියට යන නව නිර්මාණ ශිල්පීන්ගේ දක්ෂතාවයෙන් විකසනය වන්නා වූ දෙයක් බවත් ඔබට පසක් වනු ඇත.
                             නව නිර්මාණකරුවෙක් හෝ තාක්ෂණඥයෙක් විසින් ගොඩනගාගතයුතු ශිල්පීය නිපුණත්වය මෙන්ම ඉවසීම සහ අධිශ්ඨානය වැනි මානසික පෞර්ශය පිළිබදව ද අගනා පාඩම් අපගේ මුතුන්මිත්තන් විසින් ඉතිහාසය තුල අපහට ඉතිරිකරගොස් ඇත.එම හේතුව නිසාම තාක්ෂණයේ ගමන් මග පිලිබඳ පොත්පත් කිහිපයකින් හා අන්තර්ජාලය ඔස්සේ තොරතුරු සොයා සකසාගත් දල සටහනක් මෙතැන් සිට ඔබවෙත ඉදිරිපත් කරන අතර එහි යම්කිසි අතපසුවීමක් වෙතොත් මා දැනුවත්කිරීම ද එම ගමන් මාර්ගය පිලිබඳ සවිස්තරාත්මක තොරතුරු ගවේෂණය කිරීමද ඔබට භාරකරමි.හැකිවෙතොත් ඔබ සතු තොරතුරු ද ඇත්නම් අපත් සමඟ බෙදාහදා ගැනීමට එක්වන ලෙසට ද ඔබට ඇරයුම් කරමි.

සැලකිය යුතුයි- මෙහි ඓතිහාසික කාලවකවානු ශිෂ්ඨාචාරයෙන් ශිෂ්ඨාචාරයට තරමක් දුරට වෙනස් විය හැක.


ක්‍රි.පූ අවුරුදු මිලියනයකට පෙර -

              මෙම කාලයේදී මිනිසා විසින් ඉතා නොදියුණු ගල් ආයුධ භාවිතා කරන ලදි.ගලින් ගල ගටා යම්තමින් මුවහත් කරගන්නා ලද ස්වභාවික ගල් වර්ග මෙම ගණයට අයත් වේ.

පුරාතන ගල් ආයුධ
පුරාතන ගල් ආයුධ
Source : http://www.culture24.org.uk/history-and-heritage/archaeology/megaliths-and-prehistoric-archaeology/art73365


Sunday, August 2, 2015

න්‍යෂ්ටික අම්ල සහ ජීවීන්ගේ පැවැත්ම....

න්‍යෂටික අම්ල වර්ග 2ක් සෛලයක් තුල පවතිනවා. එක් වර්ගයක් ‍DNA ලෙසත් අනෙක් වර්ගය RNA ලෙසත් හඳුන්ව‍නවා.
          DNA වල තැනුම් ඒකකය නියුක්ලියෝටයිඩයක් ලෙස හඳුන්වනවා. DNA අණුවක් සෑදී තිබෙන්නේ මේ වගේ නියුක්ලියෝටයිඩ රාශියක එකතුවකින්. මේ නියුක්ලියෝටයිඩයක් හැදිල තියෙන්නේ පෙන්ටෝස සීනි කාණ්ඩයකින්. එය කාබෝහයි‍ඩ්‍රේටයක් කාබන් පරමාණු පහක් එකතු වෙලා තමයි හැදිල තියෙන්නේ. කවුරුත් දන්‍න ග්ලූකෝස් හෙක්සෝස සීනි කාණ්ඩයක් එය සෑදීමට කාබන් පරමාණු 6ක් දායක වෙලා තියෙනවා. ඊට අමතරව මේ සීනි කාණ්ඩවල හියිඩ්‍රජන් ඔක්සිජන් පරමාණු පවතිනවා. DNA හැදිල තියෙන මේ පෙන්ටෝස සීනි කාණ්ඩය ඩී ඔක්සි රයිබෝස් ලෙස හඳුන්වනවා. මීට අමතරව නියුක්ලියෝටයිඩයක පොස්පේට කාණ්ඩයක් සහ නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩයක් පවතිනවා. මේ කාණ්ඩ දෙක DNA වලටත්, RNA වලටත් පොදු සංඝටක දෙකක්.
          DNA වලටත් RNA වලටත් පොදු නියට්‍රජනීය භෂ්ම වර්ග දෙකක් ත‍ිබෙනවා. පියුරීන කාණ්ඩයට ඇඩිනීන් (A), ගැවනීන්(G), භෂ්මත් පිරිමිඩීන කාණ්ඩයට තයමීන් (T), සයටොසින් (C), යුරැසිල් (U) භෂ්මත් අයත් වෙනවා. පියුරීන භෂ්මවල කාබන් වලින් සෑදුණු චක්‍ර 2ක් ද, පිරිමිඩීන කාණ්ඩවල එක් චක්‍රයක් ද පවතිනවා.

Image source: http://www.mun.ca/biology/scarr/iGen3_02-08_Figure-L.jpg
          යුරැසිල් භෂ්මය තිබෙන්නේ RNA වල පමණය. ඒ වෙනුවට RNA වලින් තයිමීන් භෂ්මය ඉවත් වෙනවා.
          මෙම කාණ්ඩ DNA අණුවක් තුල සැකසිලා තියෙන්නේ ඉණිමගක ආකාරයට. දෙපස පෙන්ටෝස සීනි කාණ්ඩය පවතින අතර ඒවා නයිට්‍රජනීය භෂ්ම එකිනෙක තිරස් ලෙස සම්බන්ධ වෙනවා. නයිට්‍රජනීය භෂ්ම මඟින් එකිනෙක සම්බන්ධ වන්නේ පියරීන කාණ්ඩයක් සමඟ පිරිමිඩීන කාණ්ඩයක් ලෙසට. උදාහරණයක් විදිහට A සමඟ T, G සමඟ C සම්බන්ධ වෙනවා. A සහ T අතර හයිඩ්‍රජන් බන්ධන 2කුත් C හා G අතර හයිඩ්‍රජන් බන්ධන 3කුත් ඇති වෙනවා.

Image source: https://s-media-cache-ak0.pinimg.com/736x/73/6c/eb/736ceb06de3858d85d5b8669845f912c.jpg
          ජිවීන් පෙන්වන එකිනෙකට වෙනස් ජානමය ලක්ෂණ මෙම භෂ්ම පිහිටීමේ අනු‍පිළිවෙල මගින් තීරණය කරනු ලබනවා. එනම් ජීවීන්ගේ ජානමය ලක්ෂණ DNA මගින් තීරණය කරනවා. ඒ වගේම සෛලවල ජීව ක්‍රියාවලි DNA මගින් පාලනය කරන්න පුළුවන්. ජානමය ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරනු ලබන්නේ මෙම DNA මගිනුයි. සමහර අවස්ථාවලදී පමණක් මේ භෂ්ම අනුපිළිවෙල යම් ජී‍වියෙකුගේ අසාමාන්‍ය ආකාරයකට වෙනස් වෙලා වෙනස් ලක්ෂණයක් පෙන්නුම් කරන්න පුළුවන්. නමුත් එය ඉතා දුර්ලභ අවස්ථාවක්. ඒ කියන්නේ DNA ඉතා ස්ථායී අණුවක්. DNA කියන්නේ ජීවී ලෝකයේ පැවැත්ම තහවුරු කරන වැදගත් සාධකයක්.

"RNA" තුලින් නැවත හමුවෙමු....

චතුරිකා සෙව්වන්දි

Tuesday, July 7, 2015

සෛ‍ලයේ විස්මිත නිර්මාණය...

මිහිතලය නිර්මාණය වීමෙන් අනතුරුව එය සෞන්දර්යාත්මක කිරීමට දායක වෙලා තියෙන්නේ අපි ජීවීන් ලෙස සලකන ශාක හා සත්ත්වයින්. මේ ජීවීන් නිර්මාණය වෙලා තියෙන්නේ ඉතා කුඩා ව්‍යූහයක් වන අපේ පියවි ඇසට නොපෙනෙන ඒ කියන්නේ අපේ පියවි ඇසේ විභේදන බලයට වඩා දහස් ගුණයක විභේදන බලයක් තියෙන අන්වීක්ෂයකින් පමණක් දකින්න පුළුවන් සෛලයකිනුයි. මේ විභේදන බලය කියල කියන්නේ ආසන්නයේ ඇති ලක්ෂ්‍යයන් දෙකක් එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමේ හැකියාවයි. ඉතින් මිනිස් පියවි ඇසේ විභේදන හැකියාව 0.1 mm පමණ වෙනවා. අන්වීක්ෂයකින් මීට වඩා කුඩා දුරක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේකින් ජීවියෙක් නිර්මාණය වීම පුදුමයි නේද?

         ජීවින් බිහිවීමේ ආරම්භයට විවිධ විද්‍යඥයින් විසින් විවිධ අර්ථ දැක්වීම් ලබා දුන්නත් වර්ථමානයේ පිළිගන්නේ අන්තඃ සහජීවී වාදයයි.
          සෛලයක ව්‍යූහය සලකන කොට ජීව ලෝකයේ ව්‍යූහය අනුව සෛල වර්ග දෙකක් තිබෙනවා.
  1. ප්‍රාග් න්‍යෂ්ටික සෛලය
  2. සූ න්‍යෂ්ටික සෛලය
          ප්‍රාග් න්‍යෂ්ටික සෛලය බොහෝ විට දක්නට ලැබෙන්නේ සංවිධාන මට්ටමෙන් ඉතා පහළ බැක්ටීරියා, සයන බැක්ටීරියා වැනි ජීවීන්ගේයි. මේ විදිහට කියනකොට මතක් වෙන්නේ අපට රෝග සාදන බැක්ටීරියාවන්.
          ප්‍රාග් න්‍යෂ්ටික ජීවියෙක් සමන්විත වෙන්නේ තනි ප්‍රාග් න්‍යෂ්ටික සෛලයකින්. ඒ සෛලයේම මේ ජීවීන්ට චලනය වීම සඳහා උපාංග තිබෙනවා. උදාහරණ විදිහට පක්ෂම, කෂිකා හඳුන්වන්න පුළුවන්. පක්ෂම සමහර අවසථාවලදී බැක්ටීරියා මඟින් උපස්තර වලට සවිවීමට භාවිතා කරනවා. මේ සෛලයක පිටතින්ම සෛල බිත්තියත් ඊට අැතුලතින් සෛල ප්ලාස්මය වට කරමින් ප්ලාස්ම පටලයත් තිබෙනවා. මේ සෛල ප්ලාස්මය තුල චක්‍රීය DNA දාමයක්, 70 S රයිබසෝම අතිරේක DNA දාම සහිත ප්ලාස්මිඩ සහ තවත් පටල රහිත ඉන්ද්‍රයිකා විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ සෛලවල කිසිම ඉන්ද්‍රයිකාවක් පටල වලින් ආවරණය වෙලා නැහැ. මේ ජීවීන් තුල පවතින DNA ජාන ඉංජිනේරු විද්‍යාවේ දී භාවිතා කරනවා.
          සූ න්‍යෂ්ටික ජීවීන් නිර්මාණය වෙලා තිබෙන්නේ සූ න්‍යෂ්ටික සෛල වලින්. ජීවීන් වර්ගීකරණයේදී දිලීර සහ ඊට ඉහලින් ඇති රාජධානි සූ න්‍යෂ්ටික සෛල වලින් නිර්මාණය වෙලා තිබෙනවා. සූ න්‍යෂ්ටික ජීවීන් ගේ සෛල එකකට වඩා තිබුණත් කවුරුත් භාවිතා කරන යීස්ට් සෑදී ඇති දිලීරය සමන්විත වෙන්නේ තනි සූ න්‍යෂ්ටික සෛලයකින්. සූ න්‍යෂ්ටික සෛලයක තිබෙන DNA න්‍යෂ්ටි පටලයකින් ආවරණය වෙලා තිබෙන අතරම හිස්ටෝන ප්‍රෝටීන වටා ඒවා එතිලා තිබෙන්නේ. ඊට අමතරව පටලමය ඉන්ද්‍රයික වන මයිටකොන්ඩ්‍රියා, අන්තඃප්ලාස්මීය ජාලිකා, ගොල්ගි දේහ සත්ත්ව සෛල වලට හා ශාක සෛල වලට පොදු වගේම හරිතලව ශාක සෛලවල පමණක් දක්නට ලැබෙනවා. ඊට හේතුව වන්නේ හරිතලව වලට ආලෝක ශක්තිය මඟින් ආහාර නිපදවීමේ හැකියාවක් තිබීමයි.
          ප්‍රාග් න්‍යෂ්ටික සෛල වලත් සූ න්‍යෂ්ටික සෛල වලත් පවතින න්‍යෂ්ටික අම්ල එනම් DNA ජාන ඉංජිනේරු විද්‍යාවේ දී විවිධ ආකාරයට භාවිතා වෙනවා. ඒ සඳහා DNA වල ව්‍යූහය ඉතා ප්‍රබලව ඉවහල් වෙනවා.


"න්‍යෂ්ටික අම්ල සහ ජීවීන්ගේ පැවැත්ම" තුලින් නැවත හමුවෙමු....

චතුරිකා සෙව්වන්දි

Comments System

Disqus Shortname