Sunday, October 18, 2015

RNA ගැන විමසා බලමු...

ජීවීන්ගේ ලක්ෂණ පාලනය කරනු ලබන ජාන DNA තුළ පිහිට තිබෙනවා. එම ජාන, සෛලයකින් තවත් සෛලයකට ලබා දෙන්නේ DNA ප්‍රතිවලිත වීම මඟින්. ඒ කියන්නේ DNA වල පවතින ජාන පිළිවෙලටම අනුරූප තවත් DNA දාම සෑදීම මඟින්. DNA වල පවතින ජාන නිරූපණය වීම කියන්නේ එම ජාන මඟින් ප්‍රෝටීන නිපදවා එම ප්‍රෝටීන මඟින් අදාල ලක්ෂණය නිරූපණය කිරීමයි.
     ඉතින් මේ ජාන පවතින්නේ සෛලයක න්‍යෂ්ටිය අතුලෙ. නමුත් ප්‍රෝටීන නිපදවන්නේ සෛල ප්ලාස්මයේ තිබෙන රයිබසෝම මඟින්. මේ ජානවල තොරතුරු රයිබසෝම වෙතට අරගෙන යන්න RNA වැදගත් වෙනවා.
     RNA කියන්නේ තවත් නියුක්‍ලික් අම්ල වර්ගයක්. එයත් DNA හා සමානව පෙන්ටෝස සීනි කාණ්ඩයකිනුත් පොස්පේට් කාණ්ඩයකිනුත්, නයිට්‍රජනීය භෂ්මයකුත් පවතින නියුක්ලියෝටයිඩ රාශියකින් සෑදී තිබෙනවා. මේවායේ තිබෙන පෙන්ටෝස සීනි කාණ්ඩය රයිබෝස් කියලා තමයි හඳුන්වන්නේ. DNA වල තිබෙන්නේ ඩී ඔක්සි රයිබෝස් සීනි කාණ්ඩය. නයිට්‍රජනීය භෂ්ම විදිහට ඇඩිනීන්, ගුවැනීන්, සයිටොසීන්, යුරැසිල් තිබෙනවා. DNA ද්විත්ව දාමයක් විදිහටත් RNA තනි දාමයක් විදිහටත් පවතිනවා.
image source: http://study.com/cimages/multimages/16/Difference_DNA_RNA-EN.svg.png

     සෛලයක් තුළ R‍NA වර්ග 3ක් පවතිනවා. ඒවා m-RNA, t-RNA, r-RNA ලෙස හඳුන්වනවා.
     DNAවල තිබෙන තොරතුරු රයිබසෝම දක්වා ගෙන යන්නෙ  m-RNA මඟින්. ඒ නිසා මෙම  RNA වර්ගය පණිවිඩකාර  RNA ( messenger) ලෙස හඳුන්වනවා.
     m-RNA හි අඩංගු වන අනුයාත නියුක්ලියෝටයිඩ තුනක් මඟින් ඇමයිනෝ අම්ලයක් නිරූපණය කරනවා. එම නියුක්ලියෝටයිඩ තුන කෝඩෝනයක් ලෙස හඳුන්වනවා.
     රයිබසෝමයට ප්‍රෝටීන තැනීමට අවශ්‍ය ඇමයිනෝ අම්ල රයිබසෝමය වෙත ගෙන ඒම t-RNA මඟින් සිදු කරනවා. අදාල ඇමයිනෝ අම්ලය හඳුනාගැනීමට t-RNA කෙලවර ප්‍රති‍ කෝඩෝනයක් පිහිටා තිබෙනවා.
     r-RNA මඟින් තමයි‍ මේ ප්‍රෝ‍ටීන සෑදීමට දායක වෙලා ත‍ිබෙන රයිබසෝම සෑදී තිබෙන්නේ.
DNA තුල අඩංගු ජාන ප්‍රෝ‍ටීන මඟින් නිරූපණයවන ක්‍රියාවලිය මීලඟ ලිපියෙන් විමසා බලමු.

චතුරිකා සෙව්වන්දි

No comments:

Post a Comment

Comments System

Disqus Shortname