තාක්ෂණය
ගැන උනන්දු වන්නා වූ නව නිර්මාණ අත්හදා බැලීමට ආශා කරන්නා වූ සැමට පොදුවේ උපදෙසක්
දෙමි.ඉතිහාසය හදාරන්න!! ප්‍රාථමික ගල් ආයුධයේ සිට අජඨාකාශ යානය දක්වා තාක්ෂණය
දියුණු වෙමින් ආ මාර්ගය පිරික්සීමෙන් කිසිදු අයුරකින් ඔබගේ කාලය අපතේ නොයනු
ඇත.තාක්ෂණයේ දියුණුව යනු තනි පුද්ගලයෙකු විසින් එක් රැයකදී ලඟා කරගත් දෙයක් නොවන
බවත් නොපසුබස්නා වීර්යය සහ නොසන්සිදෙන කුතුහලය විසින් දිරිමත් කරනු ලැබූ ශ්‍රේෂ්ඨ
මිනිසුන්ගේ අප්‍රමාණ කැපකිරීම් නිසා ඇතිවූ දෙයක් බවත් නමුත් එයිනුදු නොනැවතී නිරන්තර
අනාගතය දෙසට යොමුවූ බලාපොරොත්තු ඇතුව තව තවත් ඉදිරියට යන නව නිර්මාණ ශිල්පීන්ගේ
දක්ෂතාවයෙන් විකසනය වන්නා වූ දෙයක් බවත් ඔබට පසක් වනු ඇත.
නව නිර්මාණකරුවෙක්
හෝ තාක්ෂණඥයෙක් විසින් ගොඩනගාගතයුතු ශිල්පීය නිපුණත්වය මෙන්ම ඉවසීම සහ අධිශ්ඨානය
වැනි මානසික පෞර්ශය පිළිබදව ද අගනා පාඩම් අපගේ මුතුන්මිත්තන් විසින් ඉතිහාසය තුල
අපහට ඉතිරිකරගොස් ඇත.එම හේතුව නිසාම තාක්ෂණයේ ගමන් මග පිලිබඳ පොත්පත් කිහිපයකින්
හා අන්තර්ජාලය ඔස්සේ තොරතුරු සොයා සකසාගත් දල සටහනක් මෙතැන් සිට ඔබවෙත ඉදිරිපත්
කරන අතර එහි යම්කිසි අතපසුවීමක් වෙතොත් මා දැනුවත්කිරීම ද එම ගමන් මාර්ගය පිලිබඳ
සවිස්තරාත්මක තොරතුරු ගවේෂණය කිරීමද ඔබට භාරකරමි.හැකිවෙතොත් ඔබ සතු තොරතුරු ද
ඇත්නම් අපත් සමඟ බෙදාහදා ගැනීමට එක්වන ලෙසට ද ඔබට ඇරයුම් කරමි.
සැලකිය
යුතුයි- මෙහි ඓතිහාසික කාලවකවානු ශිෂ්ඨාචාරයෙන් ශිෂ්ඨාචාරයට තරමක් දුරට වෙනස් විය
හැක.
ක්‍රි.පූ අවුරුදු මිලියනයකට පෙර -
මෙම කාලයේදී මිනිසා විසින් ඉතා නොදියුණු ගල් ආයුධ භාවිතා කරන ලදි.ගලින් ගල ගටා යම්තමින් මුවහත් කරගන්නා ලද ස්වභාවික ගල් වර්ග මෙම ගණයට අයත් වේ.
පුරාතන ගල් ආයුධ
Source : http://www.culture24.org.uk/history-and-heritage/archaeology/megaliths-and-prehistoric-archaeology/art73365 |
ක්‍රි.පූ අවුරුදු මිලියන 0.5 –
මිනිසා විසින් රළු
ගල් පොරවක් ලෙස භාවිත කිරීමට පටන් ගන්නා ලදි.තවද ලී දඩු කෙලවර උල් කර හෙල්ලක් ලෙස
භාවිත කිරීමට ද උගත්තේ මෙම කාලයේ දී ය.කාලයක් ගතවීමේ දී ක්‍රමයෙන් ගල් පොරවට ලී
වලින් මිටක් ඈදා ගැනීමට තරම් මිනිසා දියුණුවක් ලබාගන්නා ලදි.ගින්දර පිලිබදව ද
මිනිසා විසින් අවබෝධයක් ලබා ගන්නා ලදි.
ලී මිටක් ඈඳන ලද ගල් පොරව
Source : http://www.dailymail.co.uk/sciencetech/article-2233557/The-birth-weapons-Man-began-hunting-stone-tipped-spears-200-000-year-earlier-previously-thought.html |
ක්‍රි.පූ අවුරුදු 100 000 –
ගින්දර ප්‍රයෝජනයට
ගැනීමට මිනිසා ඉගෙනගත්තේය.ගල් ආයුධ තවදුරටත් වැඩිදියුණු කර කැපීම සහ සතුන් හමගැසීම
වැනි විවිධ කාර්යයන් ට ඒවා යොදාගන්නා ලදි.මෙතෙක් කල් ස්ථිර වාසස්ථානයක් නොමැතිව
සිටි මිනිසා තම වාසස්ථාන ලෙස ගල්ගුහා තෝරා ගැනීමට නැඹුරු වේ. ගල් ආයුධ වලට අමතරව
සතුන්ගේ ඇටකටු වලින් ද ආයුධ තැනීම ආරම්භ වේ.
ක්‍රි.පූ අවුරුදු 40 000 –
සත්ව ඇටකටු කපා
හැඩකර ආයුධ සහ උපකරණ සෑදීමට මිනිසා පටන් ගනී.ගල් ආයුධ මුවහත තබා තියුණු අවියක් ලෙස
පාවිච්චියට ගන්නා ලදි.
ක්‍රි.පූ අවුරුදු 13 000 –
මිනිසා විසින් දුන්න
සහ ඊය සොයාගන්නා ලදි.ගුහා චිත්‍ර නිර්මාණයද මෙම කාලයේ සිදු කෙරුණු අතර සත්ව හම්
භාවිතයට ගැනීමට ද සත්ව තෙල් ලබා ගැනීමටද මිනිසා යොමු විය.
ඉතා පැරණි ගුහා සිතුවමක් - Cave of Altamira, near Santander, Spain
Source : http://upload.wikimedia.org/wikipedia/commons/c/cc/AltamiraBison.jpg |
ක්‍රි.පූ අවුරුදු 10 000 –
ඊතලයේ තුඩ සදහා
ගිනිගල් භාවිතා කර එය තවදුරටත් දියුණු කරන ලදි.දැව සහ මැටි භාවිතා කර වාසස්ථාන
තනාගැනීම ට මිනිසා පටන්ගන්නේ මේ කාලයේ දීය.
"නොපසුබට මිනිසාගේ පුරාවෘත්තය 2" න් නැවත හමුවෙමු....
හිමාල් හපුආරච්චි
No comments:
Post a Comment