Sunday, October 18, 2015

RNA ගැන විමසා බලමු...

ජීවීන්ගේ ලක්ෂණ පාලනය කරනු ලබන ජාන DNA තුළ පිහිට තිබෙනවා. එම ජාන, සෛලයකින් තවත් සෛලයකට ලබා දෙන්නේ DNA ප්‍රතිවලිත වීම මඟින්. ඒ කියන්නේ DNA වල පවතින ජාන පිළිවෙලටම අනුරූප තවත් DNA දාම සෑදීම මඟින්. DNA වල පවතින ජාන නිරූපණය වීම කියන්නේ එම ජාන මඟින් ප්‍රෝටීන නිපදවා එම ප්‍රෝටීන මඟින් අදාල ලක්ෂණය නිරූපණය කිරීමයි.
     ඉතින් මේ ජාන පවතින්නේ සෛලයක න්‍යෂ්ටිය අතුලෙ. නමුත් ප්‍රෝටීන නිපදවන්නේ සෛල ප්ලාස්මයේ තිබෙන රයිබසෝම මඟින්. මේ ජානවල තොරතුරු රයිබසෝම වෙතට අරගෙන යන්න RNA වැදගත් වෙනවා.
     RNA කියන්නේ තවත් නියුක්‍ලික් අම්ල වර්ගයක්. එයත් DNA හා සමානව පෙන්ටෝස සීනි කාණ්ඩයකිනුත් පොස්පේට් කාණ්ඩයකිනුත්, නයිට්‍රජනීය භෂ්මයකුත් පවතින නියුක්ලියෝටයිඩ රාශියකින් සෑදී තිබෙනවා. මේවායේ තිබෙන පෙන්ටෝස සීනි කාණ්ඩය රයිබෝස් කියලා තමයි හඳුන්වන්නේ. DNA වල තිබෙන්නේ ඩී ඔක්සි රයිබෝස් සීනි කාණ්ඩය. නයිට්‍රජනීය භෂ්ම විදිහට ඇඩිනීන්, ගුවැනීන්, සයිටොසීන්, යුරැසිල් තිබෙනවා. DNA ද්විත්ව දාමයක් විදිහටත් RNA තනි දාමයක් විදිහටත් පවතිනවා.
image source: http://study.com/cimages/multimages/16/Difference_DNA_RNA-EN.svg.png

     සෛලයක් තුළ R‍NA වර්ග 3ක් පවතිනවා. ඒවා m-RNA, t-RNA, r-RNA ලෙස හඳුන්වනවා.
     DNAවල තිබෙන තොරතුරු රයිබසෝම දක්වා ගෙන යන්නෙ  m-RNA මඟින්. ඒ නිසා මෙම  RNA වර්ගය පණිවිඩකාර  RNA ( messenger) ලෙස හඳුන්වනවා.
     m-RNA හි අඩංගු වන අනුයාත නියුක්ලියෝටයිඩ තුනක් මඟින් ඇමයිනෝ අම්ලයක් නිරූපණය කරනවා. එම නියුක්ලියෝටයිඩ තුන කෝඩෝනයක් ලෙස හඳුන්වනවා.
     රයිබසෝමයට ප්‍රෝටීන තැනීමට අවශ්‍ය ඇමයිනෝ අම්ල රයිබසෝමය වෙත ගෙන ඒම t-RNA මඟින් සිදු කරනවා. අදාල ඇමයිනෝ අම්ලය හඳුනාගැනීමට t-RNA කෙලවර ප්‍රති‍ කෝඩෝනයක් පිහිටා තිබෙනවා.
     r-RNA මඟින් තමයි‍ මේ ප්‍රෝ‍ටීන සෑදීමට දායක වෙලා ත‍ිබෙන රයිබසෝම සෑදී තිබෙන්නේ.
DNA තුල අඩංගු ජාන ප්‍රෝ‍ටීන මඟින් නිරූපණයවන ක්‍රියාවලිය මීලඟ ලිපියෙන් විමසා බලමු.

චතුරිකා සෙව්වන්දි

Monday, October 12, 2015

යෞවනත්වය හා ක්‍රීඩාව

විශ්වය නැමැති උද්‍යානය තුළ සුපුෂ්පිත මානව සමාජය නැමැති පුෂ්ප මංජරියේ සුගන්ධවත් වූ මකරන්දය යෞවනයයි. අද්විතීය වූ ජවයෙනුත්, අසමසම ප්‍රඥා පාඨවයෙනුත් ස්වකීය ප්‍රතිභාව විශ්වය හමුවේ විද්‍යාමාන කරමින් අතීතයේ සේයා රූ ඔස්සේ අනාගතයට පියමනින නූතන යෞවනයන් නිරතුරු නුවණැසින් දිවිකත‍ර තරණය කිරීම කාලීන අවශ්‍යතාවයකි.
     නිම්හිම් ‍නොපෙනෙන සිප් සයුර තරණය කරනු වස් තුරඟ තරගයක යෙදෙන තත්කාලීන යුගයෙහි පෞරුෂ සංවර්ධනයෙහි ලා ක්‍රීඩාව අත්‍යවශ්‍ය වේ. එය හුදෙක් අක්ෂර ත්‍රිත්වයක සංකලනයක් පමණක් නොවන්නේ ඒ තුළ ගැබ් ව ඇති වාග් විෂයාතික්‍රාන්ත බව නිසාවෙනි.
     මානව සන්තානගත චෛතසිකයන් දේශය, ජාතිය ආදී සීමා රේඛාවන්ගෙන් ඛණ්ඩනය කළ නොහැකි වුව ද ස්වාර්ථයෙන් ඔද වැඩුණු මිනිසුන්ගෙන් ගහණ වත්මන් සමාජයේ මාන්‍ය චිත්‍යාභ්‍යන්තරයේ මනුෂ්‍යත්වයේ බිජුවට ‍රෝපණය කිරීමෙහි ලා ක්‍රීඩාව පරම ප්‍රතිෂඨාධාරකයක් වෙයි. එතුළින් ලැබෙන පන්නරය මඟින් ජීවන දැක්ම පුළුල් වූ කල සංකේන්ද්‍රගත ව තිබූ මානව මන්‍ය යදම් යකුළු, පවුරු සීමා බිඳ හෙළා උත්තුංග වූ සභ්‍යත්වයක් ගොඩ නඟයි.
image source: http://euxtra.com/en/wp-content/uploads/2013/09/Sport-and-education-call-from-Turkey-by-euxtra.jpg
     අයුක්තිය, අසාධාරණය රජයන නූතන යුගයෙහි සමාජගත ව ඇති මත්පැන්, මත්ද්‍රව්‍ය ඇතුළු නේකවිධ දුරාචාර දුරින් ම දුරු කිරීමට යෞවනයා විචක්ෂණශීලී විය යුතු ය. දැනුම, ආකල්ප, කුසලතා යන ත්‍රිත්වයෙන් ම සන්නද්ධ ව ගෝලීයකරණ විශ්ව ගම්මානයට ප්‍රවිෂ්ට වීමට තරම් ඥානාන්විත විය යුතු ය. ජීවිතයේ මුහුණ පෑමට සිදුවන දහසකුත් එකක් දුක්ඛ දෝමනස්සයන් අභිමුව හැඟීම්වල රූක‍ඩයක් විලස, අනුවණ මුග්ධ තීරණ නොගෙන නොසැලෙන ඉන්ද්‍රඛීලයක් සේ ඒවාට මුහුණදීමට දිරිමත් විය යුතු ය. ගතේ සවියත්, සිතේ ශක්තියත් කැ‍ටිකොට ගනිමින් යථෝක්ත අභිමතාර්ථ සාධනය කරනු වස් පවා ක්‍රී‍ඩාව අවකාශය විවර කරණ බව නොඅනුමාන ය.
     අසහාය ප්‍රයත්නයක ‍කූඨප්‍රාප්තිය සනිටුහන් වන මේ සුයාමයේ දී මාගේ තෙළිතුඩෙන් සටහනක් තැබීමට ලැබීම මා ලද භාග්‍යක් ලෙස සලකන අතර ම ක්‍රීඩාව තුළින් සප්ත කිරුළු හිස අරා මනුදම් නැමැති පාවඩ පලස මතින් ‍මනෝනන්දනීය හෙට දිනකට පිය මනින්නට 2015 ජාතික යෞවන ක්‍රීඩා උළෙල අයෝමය හස්තයක් වනු ඇතැයි උදක් ම ප්‍රාර්ථනා කරමි.

අර්ජුන උ‍ඩගෙආරච්චි

Comments System

Disqus Shortname